Tuesday, 25 February 2020

සඳ තැන්න, සුරංගනා ලෝකයෙන් බිඳක්

සඳ තැන්න, සුරංගනා ලෝකයෙන් බිඳක් සඳ තැන්න, එහෙමත් නැතිනම් මූන් ප්ලේන්ස් (Moon Plains) කියන්නේ නුවරඑළියට එන වැඩි දෙනා නොදන්න තවත් සුන්දර ඉසව්වක්. නුවරඑළිය කිව්වාම වැඩි දෙනාගේ මතකයට එන්නේ එක්කෝ සීතල, නැතිනම් උස කඳු, තේ වතු, ස්ට්‍රෝබෙරි වගේ දේවල් නේ. නමුත් නුවරඑළිය අපිට වැදගත් වෙන තවත් කාරණයක් තමයි අර්තාපල් අල. කිව්වාම කට්ටියට හිනා යන්නත් ඇති, හැබැයි ලංකාවේ දේශීය අල නිෂ්පාදනයෙන් වැඩි හරියක් සිද්ධ වෙන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. එයිනුත් වැඩිම හරියක් සඳ තැන්න ආශ්‍රිතව තියෙන වගා භූමි වලින් තමයි ලැබෙන්නේ. අවුරුදු දෙකකට කලින්, ඒ කියන්නේ 2014 අවුරුද්දේ සඳ තැන්න ප්‍රදේශය සංචාරකයන් සඳහා විවෘත කෙරුණා. මේකට සඳ තැන්න කියන්න හේතුව නම් අපි හරියටම දන්නේ නැහැ. (මේ ලිපිය කියවන කෙනෙක් ඒ ගැන හරි තොරතුරක් දන්නවා නම් කාගේත් දැනගැනීම සඳහා අපේ ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් එකක් දාන්න කියලත් ඉල්ලීමක් කරනවා) තැනිතලා බිමකට වඩා මේ ප්‍රදේශය තණකොළ වලින් වැසුණු පැතලි කඳු මුහුණතක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේක සංචාරකයන් සඳහා විවෘත කරන්න කලින් කුණු බැහැර කරන ප්‍රදේශයක් විදිහටයි පාවිච්චි කරලා තියෙන්නේ. පසුව ගොඩ කරපු භූමියක් විදිහට සකස් කරලා “කෘෂිකාර්මික සහ පාරිසරික කලාපයක්” විදිහට නුවරඑළිය මහනගර සභාව මගින් වර්ගීකරණය කරා. ඇත්තටම මෙතනට ගිහින් බලද්දී හිතෙනවා මීට කලින් මේ ප්‍රදේශය ප්‍රයෝජනයකට ගත්තේ නැත්තේ අපරාදේ කියලා. සඳ තැන්න ඇත්තටම හරිම සුන්දර දර්ශන පිරුණු ප්‍රදේශයක්. සඳ තැන්න තියෙන්නේ නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් කිහිපයක් දුරින්. මෙතනට එන්න වැව පහු කරගෙන මාගස්තොට පාරේ ඉදිරියට එන්න අවශ්‍යයි. මාගස්තොටින් උතුරට හැරිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය අර්තාපල් බීජ ගොවිපොළ තියෙන පැත්තට එන්න. නුපුරුදු කෙනෙක්ට මේ පැත්ත ටිකක් හොයා ගන්න අපහසු වෙන්න පුළුවන්, ඒ නිසා පාරෙන් පිට ගිහින් වගේ දැනුණොත් හමු වෙන කෙනෙකුගෙන් පාර අහ ගන්න. පොඩි පාරවල් වලට හැරුණාට පස්සේ සඳ තැන්න පැත්තට ඊතල දාපු පුවරු කිහිපයක් දකින්න ලැබේවි. මේ පාරේ ගියාම ඔබට හමු වෙනවා ගොඩනැගිලි කිහිපයක් තියෙන ප්‍රදේශයක්. ඒ අවට ජීප් කිහිපයකුත් නවත්වලා තියෙනවා. අපි මුලින් හිතුවේ සඳ තැන්න පැත්තේ ඇවිදින්න යන්න. හැබැයි ජීප් එකෙන් යන්න විතරයි අවසර තියෙන්නේ. ටිකට් එකක් ගන්නත් ඕනේ. මේකත් ලංකාවේ කෙනෙක්ට රුපියල් 50ක් වගේ වෙද්දී විදේශිකයන්ට රුපියල් 250ක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ගැල්වේස් ලෑන්ඩ් එකට වඩා නම් මිල සාධාරණයි කියලා හිතන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නය තමයි ජීප් එකක් හයර් කර ගන්න වෙන එක. කිලෝමීටර් කිහිපයක ගමනට රුපියල් 2000ක් වගේ ගෙවන්න සිද්ධ වෙන එක ගැන නම් අපිට ටිකක් දුකයි. කොහොම වුණත් මේ විදිහට ජීප් එකක් හයර් කර ගත්තාට පස්සේ වටපිටාව බලන්න පුළුවන් ලස්සන පාරක් දිගේ තමයි ගමන තියෙන්නේ. මේකත් ටිකක් සෆාරි ගමනක් වගේ. මග දිගටම තැනිතලා නිසා බොහොම ඈතට ලස්සන දර්ශනයක් දැක ගන්න පුළුවන්. පාර නම් හොඳටම සවුත්තුයි, කාර් එකකින් යන්නම බැහැ. ජීප් එකේ ගියත් ගමන යන්නේ හිමින් හිමින් තමයි. ඇත්තටම අපිට ඇවිදගෙන යන්න තිබුණා නම් හොඳයි කියලා අනන්ත වාරයක් හිතුණා. ජීප් එකේ යන්න බල කරන එක මොන තරම් අසාධාරණද? කොහොම නමුත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන අපි වැඩි දෙයක් නොදන්න නිසා ඒ ගැන වැඩිය කතාවට ගියේ නැහැ. මේ කොයි ප්‍රශ්නේ තිබුණත් සඳ තැන්න හරහා ගමන නම් හරිම චිත්තාකර්ෂණීයයි. තණකොළ වල තිබුණේ අමුතුම ලස්සනක්, සනීප සීතල සුළඟෙත් අමුතුම මිහිරි ගතියක් තිබුණා. මුළු වටපිටාවම හොඳින් පෙනෙන තරම් වාතය හරිම පැහැදිලියි. පාර දිගේ යනකොට වතු වල වැඩ කරන ගොවීන් එහෙම දැක ගන්න පුළුවන්. අපි යද්දී කිහිප දෙනෙක් පාරට වෙලා කෑම කමින් ඉන්නවාත් දැක්කා. සාරෙට හැදුණු තණකොළ කකා ඉන්න එළදෙන්නු තැනිතලාව පුරාම විසිරිලා ඉන්නවා දකින්න ලැබෙනවා. අහස දිහා බැලුවොත් ගොදුරක් දකින තුරු කැරකි කැරකි ඉන්න උකුස්සන් කිහිප දෙනෙක්ම දකින්න ලැබේවි. ටිකක් උවමනාවෙන් බැලුවොත් ඈත තියෙන මඩ ගොඩැලි උඩ ඉඳගෙන ගොදුරු හොයන වෙනත් මාංශ භක්ෂක කුරුල්ලන් වුණත් දැක ගන්න පුළුවන්. (අපේ උඩ රූපයේ ඉන්නෙත් ඒ වගේ කුරුල්ලෙක්) සඳ තැන්න පුරාවට තියෙන තැනිතලා භූමිය මීයන් වගේ ගුල් හාරන සත්තු බහුල ප්‍රදේශයක් නිසා මේ මේ ප්‍රදේශය උකුස්සන්ගේ, රාජාලියන්ගේ රජදහනක්. අපි කලිනුත් කිව්වා වගේ සඳ තැන්න කියන්නේ කඳු මුහුණතක්. මේ නිසා ගමනේ මැදක් හරියේදී ප්‍රදේශයේ උස් බිමකට ලඟා වෙනවා. මේ හරිය අපි ලංකාවේදී දැකපු ලස්සනම දර්ශන පිරුණු තැනක් කිව්වොත් වැරැද්දක් නෑ. බලන බලන හැම පැත්තකටම කිලෝමීටර් ගණනාවක් ඈතට කිසිම බාධාවක් නැතිව දැකගන්න පුළුවන්. හරියට මුහුද මැද්දේ තියෙන පුංචි දූපතක ඉඳන් වටපිට බලනවා වගේ. අහස මේ තරම් ලොකුයිද කියලා අපිට මුලින්ම හිතුණේ එදා. මෙතන ඉඳන් වටපිට බලද්දී අවට තියෙන හැම උස් කඳු මුදුනක්ම ඈත ක්ෂිතිජයේ දැක ගන්න පුළුවන්. කිරිගල්පොත්ත, තොටුපළ, හක්ගල කියන තුන එක පැත්තකින් පෙනෙන්ද්දී අනිත් පැත්තේ පිදුරුතලාගල, කිකිළියාමාන, නමුණුකුල කඳු දැක ගන්න පුළුවන්. හතර වටේටම හැරිලා බලන්න කදිම තැනක්. අලුත් ට්‍රෙන්ඩ් එකේ 360˚ ෆොටෝස් ටිකක් අරගන්න මීට වඩා හොඳ තැනක් නැතිව ඇති. වටපිටාව බලන්න හොඳම තැන පොඩි උස් මිටියාවතක් උඩ හදපු නැරඹුම් වේදිකාවක්, ජීප් එකේ ඩ්‍රයිවර් එතන ඔබට පෙන්නාවි. ෆොටෝ, සෙල්ෆි, පානෝරාමා ගන්න පුළුවන් හිතේ හැටියට. මේ වේදිකාව යට ඈතින් පෙනෙන කඳු මොනවද කියලා ඒ දිශා වලට ඊතල වලින් පෙන්නුම් කරන පුවරු ඔබට දැකගන්න පුළුවන්. මෙතන තියෙන හෙවණේ වාඩි වෙලා තමයි අපි අපේ උදේ කෑම ගත්තේ. වටපිටාව බලන ගමන් මෙතනට වෙලා කෑම කන එක හරිම මිහිරි අත්දැකීමක්. සමහර වෙලාවට මේ ප්‍රදේශයේ මී මැස්සන් රංචු පිටින් ගැවසෙනවා, අපි ඉන්න පැත්තටත් ලොකු රංචුවක් ආවා. උන්ගේ පාඩුවේ කැරකි කැරකි ඉඳලා ඈතට ගියා මිසක් කරදරයක් නම් කළේ නැහැ. කෝකටත් ටිකක් ඒ ගැන විමසිල්ලෙන් ඉන්න එක වැඩිය හොඳ වෙයි. මුලින් අපිට ලොකු ගාණක් ගෙවන්න වුණු එක ගැන නෝක්කාඩුවෙන් හිටියත් මෙතනට ඇවිත් වටපිටාව බැලුවාම නම් අපිට ලොකු සතුටක් දැනුණා. වැඩි කාලයක් සංචාරකයන්ට විවෘත කරලා නොතිබුණු නිසා වැඩි දෙනෙක් ගැවසෙන්නේ එහෙමත් නැහැ. (ඉතින් ෆොටෝ එකක් ගන්න අනිත් අය අයින් වෙනකල් ඉන්න සිද්ධ වෙන්නේ නැහැ) අපි යද්දී එතැන හිටියේ ලෝගු ඇඳ ගත්තු අරාබි සංචාරකයෝ දෙන්නෙක් විතරයි. ඇඳුම ඇතුලෙන් ඒ බව නොපෙනුණත් වටපිටාවේ දර්ශනය ගැන එයාලත් ගොඩක් සතුටෙන් ඉන්න ඇති. මේ වගේ තැනක් ඉර නගිද්දී හරි ඉර බහිද්දී හරි තවත් ලස්සන වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මෙතනට හඳ පායලා තියෙන පැහැදිලි රෑක ආවොත් ඒ ලස්සන තවත් හොඳට දැක ගන්න පුළුවන් වේවි. හැබැයි අවාසනාවකට සඳ තැන්න සංචාරක කලාපය විවෘත කරලා තියෙන්නේ උදේ 7 ඉඳන් හවස 5 වෙනකල් විතරයි. මොනවා කරන්නද ඉතින්. සමස්තයක් විදිහට සඳ තැන්නට ආපු ගමන ගැන නම් අපි කවුරුත් හරිම තෘප්තිමත්. කිහිප දෙනෙක් ඉන්න කණ්ඩායමක් නම් රුපියල් 2000ක ජීප් වියදමත් බෙදා හදා ගත්තම ලොකු දෙයක් නෙවෙයි. අපි සමහර වෙලාවට කෑම වේලකට රුපියල් 400-500 වියදම් කරනවානේ. විශේෂයෙන් කියන්න තියන්නේ නිතරම හැඳුනුම්පත තමන් ළඟ තියා ගන්න කියලා. මේක ඕනෑම තැනක සංචාරය කරද්දී මතක තියා ගන්න ඕන කාරණාවක්. සමහර විට පරික්ෂා කරන්න අවශ්‍ය වුණොත් අනවශ්‍ය කරදර වලින් බේරෙන්න ඔබට එය උදව්වක් වේවි. ඉතින් ඊළඟ පාර නුවරඑළියේ ගිහින් කවුරුත් කරන දේවල් කරලා කම්මැලි හිතුණොත් ගැල්වේස් ලෑන්ඩ් වනෝද්‍යානයේ ටිකක් ඇවිදලා බලන්නයි, සඳ තැන්නට ඇවිත් වටපිටාවේ සිරි නරඹන්නයි අමතක කරන්න එපා. සීසන් කාලෙට නුවරඑළිය නගරය ආශ්‍රිතව තියෙන ඝෝෂාකාරී බවෙන් මිදෙන්න ඒක ඔබට මහඟු අවස්ථාවක් වේවි. ට්‍රැෆික් එකේ පැය ගණන් රස්තියාදු වෙන එකයි, මිල අධික කෑම වර්ග කන එකයි අඩු කරලා කුරුල්ලන්, සතා සිව්පාවා සහ ගස් කොළන් සපිරි නුවරඑළියේ ස්වභාවික පරිසර කලාප වලට ගිහින් නිස්කලංක බව විඳින එක කාට වුණත් මතක හිටින දෙයක් වේවි. බල බලා සතුටු වෙන්න පුළුවන් හොඳම ෆොටෝස් ගන්නත් මේවා මොන තරම් ප්‍රයෝජනවත් තැන්ද කියලත් ඔබටම වැටහේවි. වැඩි දෙනා නොදන්න තවත් සුන්දර තැන් නුවරඑළිය ආශ්‍රිතව තියෙන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබ ඒ ගැන තොරතුරු දන්නවා නම් අපේ පාඨක පිරිසේ ප්‍රයෝජනය සඳහා ඒ ගැන අපේ ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්නත් ආරාධනා කරනවා.

No comments:

Post a Comment

https://paidverts.com/promo/0_0_1.gif