Tuesday, 25 February 2020

ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය – නගරයට යාබද වනාන්තරයක්

                             ඝනකම් තුරු වැස්ම

ගැල්වේස් ලෑන්ඩ් (Galway’s Land) ජාතික වනෝද්‍යානය කියන්නේ ග්‍රෙගරි වැව ඉස්මත්තේ ටිකක් උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන පුංචි වනාන්තරයක්. ජාතික වනෝද්‍යානයක් කිව්වම වැඩි දෙනෙක් දන්නෙවත් නැහැ නුවරඑළියේ එහෙම එකක් තියනවා කියලා. වැඩිපුර ප්‍රසිද්ධ නැති වුණත් ලංකාවේ කොයි වනෝද්‍යානයත් පරදන තරම් සුන්දර බවක් මේ පුංචි වනාන්තරයේ තියෙනවා. මෙතනට ටවුමේ ඉඳන් එන්න පාරවල් දෙකක් තියෙනවා; එකක් හැව්ලොක් පාර, අනික ඉහළ වැව පාර. (අපර් ලේක් රෝඩ් – Upper Lake Road කිව්වම තමයි වැඩි දෙනෙක් දන්නේ) මේ දෙකෙන් හැව්ලොක් පාර දිගේ එන එක තමයි වඩාත් පහසු. වාහනයකින් එන්නත් පුළුවන්, හැබැයි වෙලාව තියෙනවා නම් හොඳම වැඩේ පයින් ඇවිදගෙන එන එක. වාහනයක එනවට වඩා ඉතා හොඳට පරිසරය විඳින්න පුළුවන් වෙන්නේ එතකොටයි. කලිනුත් කිව්වානේ මේක පුංචි වනාන්තරයක් කියලා. ප්‍රධාන වන වැස්ම තියෙන්නේ අක්කර 22ක් වගේ පොඩි ප්‍රමාණයක විතරයි. උඩු රෝපණය වගේම යටි රෝපණයත් ඝනව පැතිරිලා තියෙනවා. වැහි කාලෙට ඉර එළිය නොවැටෙන තරමටම උඩු වන වැස්ම ඝනව වැවෙනවා. ඒ නිසාම යන්තම් හවස් වේගෙන එන වෙලාවේදී වුණත් මේ වනෝද්‍යානය ඇතුලේ තියෙන්නේ මද අඳුර පිරුණු නිස්කලංක පරිසරයක්. කිලෝ මීටර් දෙකක විතර සකස් කරපු අඩි පාරක් මේ වනාන්තරය හරහා වැටිලා තියෙනවා. වටපිට බලන්න නැවතිලා යන්නේ නැතිනම් පැය භාගයක් යන්නත් කලින් ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට එන්න පුළුවන්. කිසිම බාහිර සද්දයක් නැති, කලබලකාරී කමෙන් මිදුණු මේ අඩිපාරේ ඇවිදින එක ස්වභාව ධර්මයට ප්‍රිය කරන කාටත් ඉමිහිරි අත්දැකීමක්. මේ අඩි පාර හරහා ඇවිදගෙන යන අතර මගදී ඔබට හමු වෙන සතුන් ගැන තොරතුරු අඩංගු පුවරු ගණනාවක් දකින්න පුළුවන්. ගැල්වේස් ලෑන්ඩ් අභය භුමියේ ලංකාවට ආවේණික සතුන් කිහිප දෙනෙක්ම දකින්න ලැබෙනවා. වෙනත් කුරුළු වර්ග ගණනාවකට අමතරව ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා කියන අපේ රටට ආවේණික කුරුල්ලාවත් මෙහිදී ඔබට දැක ගන්න අවස්ථාව තියෙනවා. රූපය : ප්‍රභාෂ් හෙට්ටිආරච්චි වෙනත් කුරුළු වර්ග ගණනාවකට අමතරව ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා කියන අපේ රටට ආවේණික කුරුල්ලාවත් මෙහිදී ඔබට දැක ගන්න අවස්ථාව තියෙනවා. රූපය : ප්‍රභාෂ් හෙට්ටිආරච්චි කුරුල්ලන් නම් නිතර දකින්න ලැබුණත් වෙනත් සතුන් දකින්න ලැබෙන්නේ ටිකක් කලාතුරකින් තමයි. අපේ මග පෙන්වන්නා කිව්වෙත් ලොකුවට බලාපොරොත්තු තියා ගන්න එපා කියලයි. මේ උද්‍යානයට එන වැඩි දෙනා නගන මැසිවිල්ලක් තමයි කිසිම සතෙක් දකින්න ලැබුණේ නැහැ කියන එක. ඔබට වාසනාව තියෙනවා නම් මේ උද්‍යානය ඇතුලේ ඉන්න නා නා ප්‍රකාර සතුන් ගණනාවක් දැක ගන්න පුළුවන් වේවි, හැබැයි අපි නම් දැක්කේ වළි කුකුල්ලු, කටුසු කුලයේ සත්තු සහ බිම්මල් විතරයි. මේ උද්‍යානයට එන සමහරුන්ට නම් ගෝන්නු, මුවෝ, මී හරක් වගේ විශාල සතුන් එහෙමත් දකින්න ලැබිලා තියෙනවාලු. හාවෝ, ඉත්තෑවෝ වගේ ප්‍රමාණයෙන් පොඩි සතුනුත් ඉන්නවා. නිතරම තියෙන වැසි සහිත කාලගුණයයි, අඳුරයි නිසා ඇතුලේ ඉන්න සත්තු දකින්න තරමක් අපහසුයි. කණ්ඩායමක් විදිහට යනවා නම් වැඩිය සද්ද නොකර යන්න බලන්න. කොහොම වුණත් කුරුල්ලන් එහෙම නම් ඕන තරම් දකින්න පුළුවන්. ගල් අතුරලා සකස් කරපු අඩිපාරක් තියෙනවා ඇවිදගෙන යන්න. ගැල්වේස් ලෑන්ඩ් කියන්නේ බොහොම පුංචි වන රක්ෂිතයක්, මේක නුවරඑළිය ප්‍රදේශයේ තියෙන ලොකුම වනාන්තරයවත් නෙවෙයි. හැබැයි මේ නිස්කලංක පරිසරය තුලින් වැටිලා තියෙන අඩිපාර දිගේ ඇවිදගෙන යන එක ඉතාම සුන්දර අත්දැකීමක්. නගරයට ඇවිදින දුරක තිබුණත් වැඩි දෙනෙක් එන්නේ නැති නිසා කිසිම වෙලාවක නගරේ තියෙන ඝෝෂාකාරී ගතිය මේ පැත්තට දැනෙන්නේ නැහැ. මේකට වැඩි දෙනා නොඑන්න හේතු වෙන තවත් කරුණක් තමයි අය කරන මුදල. ශ්‍රී ලංකාවේ කෙනෙකුට රුපියල් 40ක් වගේ පුංචි මුදලක් අය කෙරුණත් නුවරඑළියට වැඩිපුරම එන විදේශික අයට මේ පාරේ ඇවිදගෙන යන්න ඩොලර් 10ක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් විදේශිකයන්ගෙන් මේ වගේ ලොකු අය කිරීමක් කරන එක ලංකාවේ කොයි සංචාරක ආකර්ෂණයේත් දකින්න තියෙන දෙයක් නිසා ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ. (පිටරට යාලුවෙක් එක්ක තැනකට යනවා නම් ඒ ගැන කියන්න දෙයක් එහෙමත් සුදානම් කරගෙන යන එක වැඩිය හොඳයි.) කොහොම වුණත් ලංකාවේ කෙනෙක්ට නම් තමන්ගේ නුවරඑළිය ගමනට අලුත් අත්දැකීමක් එකතු කරගන්න මේ ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය හොඳම තැනක්.

No comments:

Post a Comment

https://paidverts.com/promo/0_0_1.gif