Wednesday, 26 February 2020

තුඩුගල ඇල්ල


කළුතර දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන ම තැන්වලින් එකක් තමයි මේ. කොළඹ පැත්තේ ඉඳලා එනවා නම්, කළුතර - කටුකුරුන්ද - මතුගම පාර - තුඩුගල හන්දිය හරහා මේ ඇල්ලට යන්න පුළුවන්. හොරණ ඉඳන් එන කෙනෙක්ට නාර්තුපාන - තොබුවන හරහා තුඩුගලට එන්න හැකියාව තියෙනවා. තුඩුගල හන්දියට ඇවිත් වීල් එකක් ගත්තොත්, එතැන ඉඳලා යන්නේ රු.250යි. ඊටපස්සේ ආයෙත් රබර් වත්තක් මැදින් මීටර් 400ක් වගේ ඇවිදගෙන යන්න ඕනේ.
 

හෙක්ටයාර 400ක වගේ භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන තුඩුගල ඇල්ල අවට පරිසරය හරි ම දැකුම්කළුයි. රබර් කිරි කපන ගැමියන් වගේ ම, අත්තෙන් අත්තට පැන පැන යන රිලා, වඳුරන් එහෙමත් මේ හරියේ දැකගන්න පුළුවන්. ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර ආරම්භ කරපු මුල් කාලෙ දි, තුඩුගල ඇල්ල ආශ්‍රිතවත් ජල විදුලි බලාගාරයක් හැදුණලු. තුඩුගල රබර් කම්හලටත් බලය සපයපු මේ විදුලි බලාගාරය 70 ගණන්වලදී වැහිලා ගිහින්. තුඩුගල ඇල්ල ආශ්‍රිත මේ වත්ත මුලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ සුද්දෙක්ටලුනේ. ඒ සුද්දගේ ගරාවැටුණු ගෙදරත් මෙතැන දැකගන්න පුළුවන්.
 

තුඩුගල ඇල්ල සමහරු හඳුන්වන්නේ “ඇල්ල උඩ ඇල්ල” කියලා. මොකද මේක හැදිලා තියෙන්නේ මහල් දෙකකින්. පහළ මහල තරණය කරලා තමයි උඩ මහලට යන්න ඕනේ. හැබැයි ලිස්සන ගල්කුළු උඩින් ඔය ගමන යනවට වඩා, එතැන ම තියෙන කැලෑවෙන් උඩ මහලට යන එක ඇඟට ගුණයි. මේ මහල් දෙකේ ම නාන්න පුළුවන් විදියට හැදුණු තටාක දෙකක් තියෙනවා. හැබැයි ඩිංගක් විතර උඩ හරියේ වතුර පාර සැරයි. ඔය තැන් දෙක ම නැතත්, දිය ඇල්ලේ පහළ කෙළවරේ පහුවෙන බම්බු පාලම කිට්ටුව තවත් නාන තොටුපළක් තියෙනවා.


වතුර ටිකක් නාලා, පොඩි සින්දු කෑල්ලක් එහෙම කියන ගමන් ලංකාවට ආවේණික පක්ෂි විශේෂ, ගස් වර්ග සහ සත්තු එහෙමත් තුඩුගල ඇල්ල ආශ්‍රිත මේ පරිසරයේදී දැකගන්න පුළුවන්.

No comments:

Post a Comment

https://paidverts.com/promo/0_0_1.gif