Wednesday, 26 February 2020

රිච්මන්ඩ් කාසල් මැදුර

ශ්‍රී ලංකාවේ ටජ් මහල විදියට හඳුන්වන්න පුළුවන් රිච්මන්ඩ් කාසල් මැදුර තියෙන්නේ දකුණු කළුතර නගර මධ්‍යයේ ඉඳන් කිලෝමීටර 3ක් විතර රට ඇතුළට වෙන්න. කළුතර ඔරලෝසු කණුවෙන් වම් පැත්තට හැරිලා, පලාතොට හන්දියට ගිහින්, පලාතොට-කෙත්හේන පාර දිගේ යද්දී මුණගැහෙන භික්ෂු විවේකාරාමය පහු කරගෙන යනකොට “රිච්මන්ඩ් කාසල්” කියලා ගහපු ලොකු නාම පුවරුවක් දැකගන්න පුළුවන්.

 මෙතැන ඉඳලා ආයෙත් මීටර් 500ක් වගේ ඇවිදගෙන යන්න වෙනවා. ඒ පොල් වත්තක් මැදින් වැටුණු පාරක් මැදින්. අවුරුදු ගාණක් ගෙවිලා ගියත්, කළු ගඟ මායිමේ පුංචි කඳු ගැටේක මුදුනේ හදලා තියෙන රිච්මන්ඩ් කාසල් මන්දිරයේ තියෙන තේජස් ගතිය අදටත් අඩු වෙලා නැහැ.

 1910 අවුරුද්දේ තමයි රිච්මන්ඩ් කාසල් මැදුර නිර්මාණය වෙන්නේ. ඒ එවකට කළුතර දීසාව භාරව ඉඳපු මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ අනුදැනුම යටතේ. ඔහුට මේ වගේ මන්දිරයක් හදන්න ආසාවක් පහළ වෙලා තියෙන්නේ ඉන්දියාවේ සංචාරයකට ගිය වෙලාවක දැකපු මහරාජා කෙනෙක්ගේ මහා මන්දිරයක් නිසා. ඒ වගේ ම, තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉඳපු තරුණියගේ පවුලේ අයව පුදුම කරවන්නත් ඔහුට ඕනේ වෙලා තිබුණා.
 
මේ මන්දිරය හදන්න ගොඩක් අමුද්‍රව්‍ය ගෙන්නුවේ පිටරවල්වලින්. ලංකාවෙන් පාවිච්චි වුණේ හුණු, වැලි සහ කළුගල් විතරයි. ඒ හැරුණා ම ස්කොට්ලන්තයෙන් ගෙන්වපු උළු, ගඩොල්, කිරිගරුඬ, එංගලන්තයෙන් ගෙන්වපු රවුම් තරප්පු සහ සිවිලිම් තහඩු, බුරුමයේ රැන්ගුන් නුවරින් ආව තේක්ක ලීවලින් මේ මන්දිරය හැඩ වුණා. ස්වාභාවික සිසිලස ගෙතුළට ගලාගෙන එන විදියට හදපු කවුළු, මැද මිදුලේ ඇති වතුර ගලන සිංහ කට ආදී සුවිශේෂී ගෘහ නිර්මාණ ලක්ෂණ මේ මැදුරේ ඇති තරම් දැකගන්න ලැබෙනවා.

 අවාසනාවකට වගේ ආතර් මුදලිතුමාගේත්, ඔහුගේ බිරිඳ වුණු ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර මැතිණියගේත් ආදර කතාව අවසාන වෙන්නේ සතුටු කඳුළුවලින් නෙවෙයි.

දරුවන් අහිමිකම නිසා ඔවුන් සිටියේ සෑහෙන්න දුකෙන්. රිච්මන්ඩ් කාසල් ගෙවත්තේ අඹලා තියෙන පොඩි දරුවන්ගේ රූපවලින්වත් ඒ කාන්සිය නැති කරගන්න ඔවුන්ට නොහැකි වුණා. සූරියබණ්ඩාර ළමාතැනී තමන්ගේ සේවකයෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන්ගන්නේ ඔය අතරමයි. ඒ නිසා මුදලිතුමාත් ඇයත් විරසක වුණා. ඔන්න ඔය වගේ රසවත් ඉතිහාසයක් තියෙන රිච්මන්ඩ් කාසල් මදුර, කළුතර යන ගමනකදී අනිවාර්යෙන් ම බලන්න යන්න ඕනේ තැනක්.

No comments:

Post a Comment

https://paidverts.com/promo/0_0_1.gif