මේ දියඇල්ල බලන්න යන්න තියෙන්නේ වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ බෙරගල හන්දියට ඇවිල්ලයි. ඊළගට එතනින් කොළඹ බෙරගල මාර්ගයේ කළුපහන හන්දියෙන් බැහැල උඩ පැත්තට ඇති මාර්ගයේ යා යුතුයි. ඒ කියන්නේ බඹරකන්ද දියඇල්ල බලන්න යන්න තියෙන පාරේ කිලෝමීටර 4ක් පමණ දුරක් ගමන් කල යුතුයි. බස් රථයක එනවා නම් එම හන්දියේ ත්‍රී රෝද රථ ඔබට උදව් කරාවි. මේ විදියට එන ඔබට ගල් පර්වතයක් උඩ සිට ඇද හැලෙන දර්ශනීය දියඇල්ලක් දක්නට ලැබෙනවා. එම දියඇල්ල හඳුන්වන්නේ බඹරකන්ද දියඇල්ල කියලා. ලංකාවේ උසම දියඇල්ල තමයි ඒක. මේ ඇල්ල කිට්ටුවට යනකොට වම පැත්තට වෙන්න තියෙන්නේ මහා විශාල පයිනස් වගාවක්. ඒ වගාව අතරින් වැටුණු අඩි පාරක් තියනවා. අන්න ඒ අඩිපාර දිගේ තමයි මේ සුන්දර දියඇල්ල හොයාගෙන යන්න ඕන.
පයිනස් ගස් අතරින් යන ගමන බොහොම අනතුරුදායකයි. මොකද පොඩ්ඩක් හරි පය ලිස්සුවොත් අඩි දෙතුන් සියයක් පහලට ලිස්සලා වැටෙන්න පුළුවන් නිසා සෙරෙප්පු දෙකක් දාගෙන යන්න බැහැ. බොහොම පරිස්සමට අඩිය තියන්න ඕනේ. මොකද වෙලුනු පයිනස් කොළ හරියට ලිස්සනවා.
සුන්දර වනපියස ඉවත් කරලා පයිනස් කියන විදේශීය ශාකය වවලා අපේ පරිසරයේ තිබුණු සුන්දරත්වය කොයිතරම් නැති වෙලාද කියලා ඔබට මේ යන ගමනේදී ඈත වනපෙතත් එක්ක බලනකොට මනාව වැටහේවි. කොහොමහරි අමාරුවෙන් මීටර හත් අටසියයක් විතර පයිනස් වගාව අතරින් වැටුණු අඩිපාර දිගේ දිගටම ගියාම හැමබවෙන්නේ පතන බිමක්. මානා හොදටම වැවිලා පාර හරියට පේන්නෙත් නෑ. කlල්පනාවෙන් යන්න ඕනේ. මොකද වම් අත පැත්තේ තියෙන්නේ තවත් විශාල බෑවුමක් සහිත ප්‍රදේශයක් නිසා. ඒ අයිනෙන්ම තමයි මේ දියඇල්ලට යන පාරත් වැටිලා තියෙන්නේ. එහෙම කිලෝමීටරයක් විතර යනකොට ඈතින් දියඇල්ලක් පේන්න ගන්නවා. එක තමයි අපි මේ විස්තර කරන ලංකා ඇල්ල කියන්නේ.
තව ටිකක් දුර යනකොට කන්ද උඩ පැත්තට වගේම පහලට පාරවල් දෙකක් හමු වෙනවා. අපි යන්න ඕනේ පහල තියන පාරේ. එක දිගේම ඇවිදගෙන යනකොට දන්නෙම නැතිව දියඇල්ල ආසන්නයට යන්න ලැබෙනවා.
ඔන්න අපි දියඇල්ල ළඟටම ආවා. ලංකාව වගේ හැඩය ගත්ත වතුර වැටෙන ඇල්ලක් නිසා තමයි ලංකා ඇල්ල කියල මේ ඇල්ල නම් කර තිබෙන්නේ. තවමත් අප්‍රකටව පවතින මේ දියඇල්ලට එන පිරිස ඉතාම අඩුයි. ඇත්තටම කවුරුත් එන්නේ නැති තරම්. මොකද පරිසරයට සැබෑවටම ආදරය කරන අය මිසක් මේ වගේ දුෂ්කර ගමනක් විනෝදයට බර ය තෝරාගන්නේ නැති නිසා.
ලංකා ඇල්ල කෙලින්ම වැටෙන්නේ බේසමක් වැනි තැනකට. එතන හරිම ග්ම්බුරුයි කියලා අපි දැනගත්තේ ඒ ගැන තොරතුරු හොයන වෙලාවේ. මිනිස් ජීවිත බිලිගන්නවා කියන කතාවකුත් එහි තියනවා කියලා ආරංචි උනා. සමහරවිට වෙන්නත් පුළුවන්.
බේසමට වැටිලා ගලායන වතුර හරිම සීතලයි. ඒ සීතලම සීතල වතුර ටිකක් බිව්වේ ගමන් මහන්සිය නිවා ගන්න.
වටපිටාවෙන් ඇහෙන කුරුළු සද්ද, රැහැයියන්ගේ සද්ද වලින් කන් පිරිලා. ඇල්ලෙන් ගලා යන වතුර පාර ගල්තලාව දිගේ පහලට ගලාගෙන යනවා. අපි ඒ වතුර පාර දිගේ පහලට ඇවිදගෙන ගියේ බොහොම පරිස්සමෙන්. සමහර තැන් වල ඔලුව අල්ලාගෙන නාන්න පුලුවන් පීලි වගේ තැන් පවා තියනවා. සමහර තැන් වල ජාල තටාක වගේ හැදිලා පතුල පෙන තරම් වතුර සුපැහැදිලියි, පිරිසිදුයි. ඒ වතුර පාරවල් පවා සමහර තැන් වලදි කුඩා දියඇලි නිර්මාණය කරගෙන තමයි පහලට කඩා හැලෙන්නේ.
සමහරු ඇවිල්ල මේ තැන්වල කුඩාරම් අටවාගෙන රාත්‍රිය ගතකරපු බවට සාක්ෂි තිබුනා. ගිනි ගොඩවල් ගහලා කෑම උයාගෙන කාලා තිබුනා. සතුටුවෙන්න විනෝද වෙන්න රාත්‍රියක් දෙකක් ගහ කරන්න කියාපු තැනක් උනත් අවට වටපිටාව ගැන කිසිත් නොදැන එවැනි කටයුත්තකට යාම අනතුරුදායක බව අපට දැනුනා.
ගඟ දිගේ අපි ටික දුරක් ඇවිදගෙන ගිහිල්ලා අයෙත් පුරුදු පාරට එන්න පටන් ගත්තේ කන්දේ ඉහලට නැඟලා. එක නම් තරමක දුෂ්කර ගමනක්. මොකද මානා පඳුරු අල්ලාගෙන පාරවල් හදාගෙන තමයි ඒ ගමන එන්න සිද්ධ උනේ. සමහර තැන්වල ගල් ගැලවෙනවා. පරිස්සම තමයි මේ ගමන්වලදී බොහොම වැදගත් වෙන්නේ.
No comments:
Post a Comment